සර්වජන බලය NPP සමඟ දැමූ ඩීල් එක?

දේශපාලනය හදවත සහ බුද්ධිය එකතු කරගනිමින් යා හැකි ගමනක් නොවේ. නමුත් බුද්ධිය අභිබවා කපටිකම මත වූ කල එය සැබෑ දේශපාලනය නොවන බවත්, එහි ඇත්තේ පටු අරමුණු පමණක් බවත් හෙළි වන්නේය. ජාතික ජන බලවේගය මහනගර සභාවන් සඳහාද තම බලය තහවුරු කර ගැනීමට පොරබදිද්දී, අවස්ථානුකූලව තම මඩිය තර කර ගැනීමට ආණ්ඩුව සමඟ ඩීල් දැමූ සර්වජන බලයේ ප්‍රධානියා වන දිලීත් ජයවීරගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාදාමය පිළිබඳව සලකා බලන විට එවැන්නෙකුගෙන් අනාගත නායකත්වයක් සහ ප්‍රතිපත්තිමය දේශපාලනයක් බලාපොරොත්තු විය හැකිද යන ගැටලුව මතුවේ.
පසුගිය කාලය තුළ ආණ්ඩුව දිගින් දිගටම දිලීත් ජයවීර පසුපස හඹා ආවේ ඇන්ටිජන් ව්‍යාපාරය සහ කොවිඩ් කාලය අතරතුරදී සිදු කරනු ලැබූ වංචා දූෂණ පිළිබඳව පෙන්වා දෙමිනි. ආණ්ඩුවට දැඩි සේ පාර්ලිමේන්තුව තුළ පහර පහරදී ආණ්ඩුව විවේචනයට ලක් කරමින් ආණ්ඩු විරෝධී ජාතිකත්ව කඳවුර නියෝජනය කිරීමට දැඩි සේ පපුවේ කැක්කුමක් තිබූ ඔහුට කොළඹ නගරාධිපති තේරීමේදී ඡන්දය භාවිතා කිරීම සහ ජාතික ජන බලවේගයට ඒ සඳහා සහාය පළ කිරීම  මීළඟ ගිවිසුමේ ආරම්භය විය හැකිය.

සර්වජන බලය එසේ සිදු කළේ මෙරට මහ පොළොවේ ජාතිකත්ව කඳවුර වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාඩමක් ඉගැන්වීමට නම්, ඔවුන් මතක තබාගත යුතු කාරණය වන්නේ ඔවුන් කැප වලේ ඔවුන්ම නැවත ගොඩ ඒමක් නොමැතිව වැටීමට වැඩි කාලයක් ගත නොවන බවයි. ජාතිකත්ව කඳවුර නමින් පුහු දේශපාලන මතවාදයක් මවාගත් සර්වජන බලයේ හෙළුව දැන් ජනතාවට පෙනෙන්නේය. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේත් ප්‍රාදේශීය සභා බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සර්වජන බලයෙන් සහාය ඉල්ලා ඇති බවට ආරංචි මාර්ග පවතී. මෙරට දේශපාලන ප්‍රතිපත්ති සහිත දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යභාරය පිළිබඳව ජනතාවට අවබෝධ වීමට මේ වකවානුව තුළදී සිදුවන ඇතැම් කරුණු කාරණා ප්‍රමාණවත් වේ.

සත්‍යවාදීව දේශපාලනය කරන්නා සේම සත්‍යවාදී බව පෙන්වමින් පුහු දේශපාලන මතවාදයක් ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රටේ ජනතාව රැවටීමට සූදානම් වන්නේ කවුදැයි දැන් ඔබට අවබෝධ වනු ඇත.

Latest articles

Related articles