ධනපති පන්තියත් නිර්ධන පංතියත් අතර ඇත්තේ අහසට පොළොව හා සමාන වෙනසක් නොව ඉතා සියුම් කෙස් ගසක වෙනසත් බව පසක් කළ ටිල්විල් සහෝදරයාටත් අගමැති හරිනි සහෝදරියටත් ප්‍රථමයෙන් ස්තූතිවන්ත විය යුතුය. ඩුප්ලිකේට් ඇබා සංගීතයෙන් මුසපත් වී කා බී නටන ධනපති ෆැබ්ටසියේ කොටස්කරුවන් වීමට ඔවුනට ගත වූයේ මාස දෙකකි. මාක්ස්වාදයේ ඉගැන්වීම් බල්ලාට දමා යථාර්ථය මත සිටගෙන මේ එන්ජෝයි කිරීමේ කලාව ටිල්වින්ලා ඇත්තෙන්ම උගත යුතුය.
ආණ්ඩුව පත් වී මාස දෙකෙන් හෑරූ නිධන් ගල අස්සේ උතුරට ප්‍රභා සැමරුම වලංගු වූ බව ඔවුන් පෙන්වා දී තිබිණ. අවසානයේ නිධන් කෙසේ වෙතත් ගල් කියුබ් දෙකතුනක් නම් මතු වී තිබිණි. එදා සීගිරි ගල කඩා පෝට් සිටිය හදන්නට හැකි වේ යැයි කියූ අනුරට දැන් කල් කන්ට හිතෙනවා විය හැකිය. කොහොමටත් ජ.වි.පෙ අතීතයේ තිබුණේම ප්‍රචණ්ඩත්වය නිසා ඔවුන්ට මේවා එතරම් ගාණක් නොමැත. අප එදා සිටම උතුරේ මිනිසා ගැන සිතුවෙමු. එහෙත් එය ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් නොව ඒකීය රටක් ලෙස සිතන අයුරිණි. රාජ්‍ය ඒකියත්වයට පයින් ගසා ඩයස්පෝරාවේ අභිමතයට ඉඩ දීම ඇර වෙනත් විකල්පයක් අනුරලාට නැත. ඔවුන්ගේ පුහු අරගලයේ ස්වභාවය ගොඩනැගී තිබුණේ මේ ඩයස්පෝරා එකඟතා මත නිසා 50-50 විසම්මුතිය තුළ දැන් ඔවුන්ට අකමැත්තෙන් හෝ ප්‍රභාකරන්ගේ අවතාරයට නතු විය යුතුය.
රාජ්‍ය ආරක්ෂාව දිය වෙමින් පවතිද්දී අධික වර්ෂාව නිසා රටෙන් අඩක් දිය වෙන මොහොතේ ආණ්ඩුව ඇහැක් ඇර බලන්නට උත්සහ නොකළේය. සාමාන්‍යයෙන් මෙන් පාර්ලිමේන්තුවට පත් වෙන නියෝජිතයා ගමේ මිනිසුන්ගේ විපතේදී ඔවුනට පිහිට වෙයි. මේ කපේට මූණ දැක නැති ගමේ සහෝදරයන් මේ මොහොතේ පාර්ලිමේන්තු නියෝජනය සිදු කර ඇත. නමුත් එකඳු නියෝජිතයෙක් විසින් ගංවතුර ආපදාවේදී ජනතාව සමඟ සිටියාද යන ගැටළුව මතු වී තිබේ. වෙනදාට ගමේ දුකකදී බඩුමලු උස්සාගෙන ගමට බහින හුරු පුරුදු පොහොට්ටු මන්ත්‍රීලා අද නැත. ජනතාවට මේ මොහොතේ ඒ අඩු පාඩුව තදින්ම දැනී තිබේ. ඊටත් එහා වෙනදාට එන සිරස සහන යාත්‍රාවත්, මනුසත් දෙරණත් අද නැත. දැන් ඔබට පැහැදිලි විය යුත්තේ මාධ්‍ය වුවද පාලනය වූයේ දේශපාලන බලවේගයක් මගින් බවයි. සහෝදරයන් පාර්ලිමේන්තුවට පත් කරගත් ජනතාවට සහෝදරයන්ගේ උදව් ලැබෙන තුරු සියලු දෙනා දෑස් දල්වා බලා සිටියි.
මේ මොහොතේ ආණ්ඩුව විසින් මේ සියලු කරුණු හමුවේ අපට පසක් කරන එක් කාරණයක් ඇත. එනම් බුදු දහමේ එන “අත්ථා හි අත්ථනො නාථෝ” – තමාට පිහිට තමාම යන ප්‍රකට ධර්ම කරුණයි. වෙනදා ජනතා සේවය පිහිටක් ලෙස දුටුවත් අද පැත්තවත් නොබලන තත්ත්වයට පැමිණ ඇත. එනම් බහුතර සිංහල බෞද්ධ ඡන්දවලට ජාතික ජන බලවේගය විසින් ලබා දී ඇති අපූරු පිළිතුර මෙයයි.
– සාරංගිකා වීරවංශ-